Advertisement

Responsive Advertisement

කහ වගාව

 


කහ වගාව   

 කහ බෝගයේ සම්භවය දකුණු හා ගිණිකොන දිග ආසියානු රට වල සිදු වුනු අතර වර්තමානයේ සමස්ත කහ නිෂ්පාදනයෙන් 75% පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාවේය. මීට අමතරව  බංග්ලාදේශය, පකිස්තානය, තායිලන්තය, චීනය, මියන්මාරය, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල්ද කහ වගා කරනු ලබයි. කහ ප්‍රධාන වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉරානය ඇතුළු මැද පෙරදිග රටවල්, උතුරු හා දකුණු අප්‍රිකානු රටවල්, යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය හා මැලේසියාවයි. 

ශ්‍රී  ලංකාව තුළ කහ ප්‍රධාන වෂයෙන් අහාර පිළියෙල කිරීමේදී වර්ණකාරකයක් සහ කුළුබඩු මිශ්‍රණ  වල සංඝටකයක් ලෙස භාවිතා කරන අතර ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදීද රුපලාවන්‍ය කටයුතු වලදීද වැදගත් අමුද්‍රව්‍යක් ලෙසද යොදාගනී. මීට අමතරව සායම් නිෂ්පාදනයේදීද වර්ණ ගැන්වීමටද විෂබීජ නාශකයක් ලෙසද කහ වැදගත් කාර්යක් ඉ‍ටු කරයි. හින්දු භක්තිකයන්ගේ ආගමික කටයුතු වලදීද බහුලව කහ මිශ්‍ර දියර යොදා ගනු ලබයි. ඒ අනුව බලන විට අපගේ එදිනෙදා කටයුතුවලදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යක් ලෙස කහ හැදින්විය විය හැක.

කහ ශාකයේ උද්භිත විද්‍යාත්මක ලක්ෂණ

කහ ශාකය භූගත රෛසෝමයකින් අඩි 3 – 4  උසට වැඩෙන පළල් පත්‍ර සහිත ව්‍යාජ වායව කදකින් සමන්විත වේ. ව්‍යාජ කදේ පත්‍ර  6-10  ක් පමණ හට ගනී. පත්‍රයක දිග අඩි 1.5- 2 ක් පමණ වන අතර තද කොළ පාටය. පත්‍ර වල අග්‍රස්ථ කෙළවර පාදස්ත කෙළවරට වඩ පළල්ය. ශල්ක පත්‍ර  සහිත භූගත කද සත්‍ය  කද වන අතර එහි සංචිත ආහාර අඩංගු වේ. ප්‍රධාන භූගත කදෙන් ශාඛා ලෙස කහ අල හට ගනී. වානිජව අස්වැන්න ලෙස ලබා ගන්නේ මෙම අලයි. රෛසෝමයේ අභ්‍යන්තරය තද තැබිලි පැහැයේ සිට කහ පැහැයක් ගන්නා අතර කහ වලට ආවේණික වූ සුවදක් සහ රසයක් ඇත. මාංශලමය වූ මුල් රෛසෝමයෙන් හට ගනී. පුශ්ප මංජරිය පාදස්තයෙන් හට ගන්නා අතර පුෂ්ප ලා කහ පාටකින් යුක්ත වේ. ඵලය ස්පෝටිකාවකි



කහ වගාවට හිතකර දේශගුණික සාධක 

කහ බෝගය සෑම දේශගුණයකටම ඔරොත්තු දෙන්නේ නැහැ. එයට වඩාත් හිතකර දේශගුණික තත්ත්වයන් තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 1500ක් තරම් උසකින් පිහිටා තිබෙන බිම් ප්‍රදේශ කහ වගා කිරීම සඳහා වඩාත් සුදුසු යි. එසේම ඊට සෙල්සියස් අංශක 20-35 අතර උෂ්ණත්වය පරාසයක් වඩාත් යෝග්‍ය වනවා. කහ වගාව සිදුකිරීම සඳහා මි.මී. 1500ට වැඩි වාර්ෂික වර්ෂාපතනයක් තිබිය යුතු යි. සාමාන්‍යයෙන් තෙත් කලාපය තුළ කහ වගාව සිදුකරන්නේ යල කන්නයේ දී ලැබෙන වර්ෂාවත් සමග යි. නමුත් වියළි කලාපය තුළ කහ වගාව සිදුවන්නේ මහ කන්නයේ දී ලැබෙන වර්ෂාවත් සමග යි. කහ බෝගය  හිරු එළිය ප්‍රියකරන බෝගයක් වුණත් එය බහුලවම වගා කරනු ලබන්නේ මඳ සෙවණ ඇති ගෙවතු වගාවක් ලෙස හෝ පොල්, කෙසෙල් වැනි බෝගයක් සමග අතුරු බෝග වගාවක් ලෙස යි.

කහ වගාවට හිතකර පාංශු තත්ත්වය

මනා ජල වහනයක් ඇති කාබනික ද්‍රව්‍ය සහිත වැලි ලෝම පස ඉතා යෝගය වේ. දුර්වල ජල වහනයක් සහිත පස්, ගල් බොරලු අදික පස් සහ මැටි පසද  කහ වගාවට සුදුසු නොවේ. පසෙහි පී.එච්. අගය 5.5-6.5ක් වීම වඩාත් උචිත වේ.

කහ වගාවට ක්ෂේත්‍රය සකස් කිරීම සහ සිටුවීම

 කහ ක්ෂේත්‍රයේ සි‍ටුවීමේදී බිම හොදින් කොටා පස පෙරලා, කැට පොඩි කර යුතුය. ඉන්පසු පලල අඩි  4ක් වන අයුරින් අගල් 9ක් උසට පාත්ති සකස් කර ගත යුතුය. නිදේශිත දිග අඩි 10ක් වන නමුත් එය පවතින ඉඩ අනුව වෙනස් වේ.

අඩි 4 ක් පළල අඩි 10ක් දිග පාත්තියක් සදහා හොදින් දිරු ගොම පොහොර හෝ කොම්පෝස්ට් කිලෝ ග්‍රෑම් 5ක් සහ ට්‍රිපල්  සුපර් පොස්පේට් (TSP) ග්‍රෑම් 50ක් යොදා හොදින් මිශ්‍ර කර ගත යුතුය. පාත්ති අතර අඩියක පමණ කාණුවක් තිබීම ප්‍රමාණවත්වේ. බීජ රයිසෝම පාත්ති වල සි‍ටුවීමේදී පැල අතර හා පේළි අතර අඩියක පමණ පරතරයකින් සි‍ටුවීම සිදු කලයුතු අතර බීජ අල අගල් 2, 3 ක් පමණ පසට යට කල යුතුය


 කහ ප්‍රභේද

ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් වගා කරන කහ ප්‍රභේද වන්නේ ගන්තර්, පූනා, සහ මදුරාසි මාජල් යන ප්‍රභේද යි. එසේම එම වර්ග තුන දේශීය කහ ප්‍රභේද සමග මුහුම් කර වෙනත් දෙමුහුම් ප්‍රභේදයන් ද සාදා තිබෙනවා..

 බීජ ප්‍රතිකාර කීරීම  

ඇඟිලි රෛසෝම සහ මව් රෛයිසෝම ලෙසින් රයිසෝම වර්ග දෙකක් දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් රෛසෝම කැබැල්ලක බර ග්‍රෑම් 30-35ක් පමණ විය යුතු අතර එහි අංකුර 1-2 ක් තිබිය යුතු යි. එසේම රෝපණ ද්‍රව්‍ය රෝගවලින් තොර විය යුතු අතර ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වගාවකින් ‍තෝරා ගත යුතු යි. එම රෛසෝමය සි‍ටුවීමට පෙර, රෛසෝම දිලීර නාශකයක මිනිත්තු 30 ක් පමණ ගිල්වා තැබිය යුතු යි. සාමාන්‍යයෙන් ඒ සඳහා භාවිතා කරන්නේ මැන්කොස්බ් නම් දිලීර නාශකය යි. එහි දී දිලීර නාශකයෙන් ග්‍රෑම් 30ක් පමණ ගෙන ජලය ලීටර් 10ක් සමග මිශ්‍රකර සාදනු ලබන ද්‍රාවණයේ රෛසෝම ගිල්වා තැබිය යුතුයි.


ක්ෂේත්‍රයේ සස්තාපනය

බීජ රයිසෝම පාත්ති වල සි‍ටුවීමේදී පැල අතර හා පේළි අතර අඩියක පමණ පරතරයකින් සි‍ටුවීම සිදු කලයුතු අතර බීජ අල අගල් 2, 3 ක් පමණ පසට යට කල යුතුය.

බීජ අල සි‍ටවා  පිදුරු, දහයියා, ග්ලිසීරියා හෝ වෙනත් වියළි කොල වර්ග යොදා ගනිමින් පාත්ති වසුන් කල යුතුය. වසුන් කිරීම නිසා පසෙහි තෙතමනය ආරක්ෂා වීම, බීජ ප්‍රරෝහනය සදහා යෝග්‍ය  උෂ්ණත්වයක් ඇති වීම, වල් පැල මර්දනය වීම සිදුවේ.

හානි කරන පළිබෝධකයන් 

කඳ විදින්නා

කහ වගාවට බලපාන ප්‍රධාන පළිබෝධකයා වන්නේ කද විදින්නාය. වැඩිහිටි සලබයා කොළ කොපුවල බිත්තර දමන අතර දළබුවා ව්‍යාජ කදට ඇතුල්වී ශාකයේ අභ්‍යන්තර පටක වලට හානි කරයි. පළමුව ශාක පත්‍ර කහ පැහැයට හැරි පසුව දුබුරු පැහැයට හැරි ශාක මිය යයි.


අස්වනු නෙලීම

අස්වනු නෙලීම සිදු කරනුයේ සිටුවීමෙන් මාස 9 කට පමණ පසුවය. මාර්තු – අප්‍රේල් කන්නයේ කහ සිටුවන්නේ නම් දෙසැම්බර් – ජනවාරි වන විට අස්වැන්න නෙලා ගැනීමට හැකි වේ. එම කාලය තුල ශාක කහ පැහැයට හැරී කොළ වියලීමට පටන් ගනියි. අස්වනු නෙලීම සිදු කරනු ලබන්නේ රෛසෝම වලට හානි නොවන ලෙසයි. රෛසෝම වල ඇලී ඇති පස් කොටස් ප්‍රවේශමෙන් ඉවත් කල යුතුයි.

සැකසීම

රෛසෝම හෙවත්  කහ අල වල මුල් කොටස් කපා ඉවත් කොට පස් ඉවත් වන තුරු හොඳින් සෝදා මව් අල සහ ඇඟිලි අල වෙන් කල යුතුයි. රෛසෝම වැසෙන තුරු ජලය යොදා ඇඟිලි අල මිනිත්තු 30 කුත්, මව් අල මිනිත්තු 45 කුත් තම්බා ගත යුතුයි. නිසි ලෙස තම්බා ගත් විට රෛසෝම මෘදු වේ. නිසි පරිදි තැම්බි ඇති බව පරික්ෂා කර ජලය වෙනුවට වාෂ්පයෙන්ද තම්බා ගත හැක. කහ කිලෝග්‍රෑම් කිහිපයක් තම්බා ගැනීමට පීඩන උදුන ද භාවිතා කල හැක. තම්බා ගත් කහ දින කිහිපයක් පවනේ වියලා ගත යුතුයි. උදැසන 11.00 ත් 2.00 ත් අතර තද හිරු එළිය නොවැටෙන පරිදි මුල් දින තුන සෙමින් වියලීම සිදු කල යුතුයි. ඉන්පසුව අඛණ්ඩව හිරු එළියේ වියලීම කල යුතුයි. සම්පුර්ණ වියළීමේ ක්‍රියාවලියට දින 10 ක් පමණ  අවශ්‍ය වේ. නිසි ලෙස වියලූ කහ සොලවන විට ලෝහමය ශබ්දයක් ඇසේ. දීප්තිමත් කහ පැහැයක් ලබා ගැනීමට වියලි රෛසෝම රළු මතුපිටක අතුල්ලනු ලැබේ. මේ සඳහා සුදු යකඩ වලින් තැනු කහ පොලිෂ් කරන යන්ත්‍රය ද භාවිතා කල හැක.


ප්‍රමිතිගත ගුණාත්මක පිරිවිතර

තෙතමනය 9%

කර්ක්‍යුමින් 4-7 %

ආගන්තුක ද්‍රව්‍ය (භෞතික බරට) 0.5%

සගන්ධ තෙල් 3-5%


Post a Comment

0 Comments